මැට්ටි

මැට්ටි

Matti

Manohari Jayalath

168 pp

$13.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

අපිට ඉංග්‍රීසි උගන්නන්න ආවේ සුවර්නා ටීච. අපි ටීචට කැමතිත් නෑ. ඉංග්‍රීසි වලට කැමතිත් නෑ.

ටීචත් අපිට එච්චරම කැමති නෑ.

ටීච හැමදාම ආ වෙලාවේ ඉදං එයාගේ නම කියන්න උගන්නනවා.

සුවර්නා

“සුවර්නා නෙමෙයි.. ස්…වර්නා… අගේන්..ස් ස් වර්නා..”

අපි ඔක්කෝම කෑ ගහලා කියනවා.

“ඉස් වර් නා”

සුවර්නා ටීච අපිට සිංදු කියලා දෙනවා. මෙලෝ තේරුමක් නැති සිංදු.

දවසක් කිව්වා, ඒ – බී – සී – ඩී කියලා සින්දුවක්..

අපි ඉස්කෝලේ ඇරිලා යද්දි ඕක කිය කියා පාඩම් කරා.

අනික් දවසේ ටීච ඒක පාඩම් ගත්තා. අසුන්දරා. මේ මේ ව..සුන්දරා නැඟිට්ටා.

“… ඒ බී සී ඩී .. කොස් ඇට සිබිඩි !”

ටීච ඉංග්‍රීසි යකෙක් වගේ අසුන්දරා දිහා බැලුවා. අසුන්දරා තව මොනවදෝ හෙමීට කිව්වා.ඒ ටික අපිට ඇහුනේ නෑ..

අඩි රූල එහාට මෙහාට වැනුනා.

අසුන්දරාගේ දෙපැත්තේ හිටිය දෙන්නත් ගුටි කෑවා.

ටීච එහෙම තමයි . ටීචට කොයි පැත්තද කියලා නෑ. ඔහේ රූල වනනවා.

කාගෙවත් අම්මලා එන්නෙ නෑ ඉංග්‍රීසි ටීචට කතා කරන්න. බයේ නෙවෙයි . ඒගොල්ලොන්ට ඉංග්‍රීසි පේන්න බෑ.

ආච්චි නම් කියන්නේ ඔය ගෙරි මස් කන සුද්දෝ කියලා .

මං දවසක් අම්මාගෙන් ඇහුවා ඉංග්‍රීසි ටීච එහෙම කරන්නේ ඒ ඉංග්‍රීසි ටීචට මීමැස් මොරේද කියලා .

අම්මා කොච්චර හයියෙන් හිනාවුණා ද කිව්වොත් ආච්චි හරියට කලබල වුණා.

” ඔය හිනාවෙන තාලෙට බඩේ ඉන්න එකා එළියට පනී!”

“මොකාද ආච්චියේ බඩේ ඉන්නේ..?”

“……..!”

ඉතිං මම නම් හයියෙන් හිනා වෙන්නෑ. බඩේ ඉන්න එකා එළියට පැන්නොත් කියලා මං හරි බයයි. ඉස්කෝලෙදි නම් කොහොමවත් එහෙම හිනාවෙන්නෑ.

රම්මියා උනත් හයියෙන් හිනාවෙනකොට මං කියනවා

“ඔහොම හිනා වෙන්න එපා. බඩේ ඉන්න එකා එලියට පනී…” කියලා .

දවසක් ඉඟුරුවත්තේ නැන්දයි එයාගේ අම්මයි අපේ ගෙදර ඇවිත් රස කතා කිය කියා හිටියා. රස කතා කිව්වට කිසි රසක් නෑ. ආච්චි නම් හරියට හිනා උනා. ඉඟුරුවත්තේ නැන්දත් හිනා වෙන්න ගත්තා.

මට බය හිතුනා.

“ඔහොම හිනා වෙන්න එපා බඩේ ඉන්න එකා එලියට පනී!”

ඕක කිව්වා විතරයි ඉඟුරුවත්තේ නැන්දා ඇස් ගෙඩි දෙක එළියට දාගෙන ආච්චි දිහා බැලුවා.

ඊට පස්සේ ඒගොල්ලෝ මොකුත් කතා කරේ නෑ. හිනා උනෙත් නෑ.

“ඒ මිනිස්සු ආයේ මෙහේ එන එකක් නෑ…”

තාත්තා රෑ වෙලා කිව්වා.

තාත්තා ඔය කියන කියන ඒවට නම් අම්මා හිනා වෙන් නෑ. කියන්නෙත් හිනා යන තාලෙටවත් නෙමේනේ. එයාට බඩේ ඉන්න එකා එලියට පැන්නත් එකයි. නැතත් එකයි.

අම්මා මේස රෙද්ද දිහා බලා ගෙන ඇහුන් නෑ වගේ හිටියා.

Details

Author
Manohari Jayalath
Publisher
Bookrack Publishers
ISBN
9789553490193
Pages
168
Language
Sinhala